ලෝක වසංගතයක් බවට පත්ව ඇති කෝවිඩ් - 19 වෛරසය ලෝකයේ රටවල් ගණනාවක පැතිරෙමින් තිබෙන අතර, ශ්‍රී ලංකාව තුළද එය පැතිරෙමින් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නම් කළේය. පවතින තත්ත්වය හමුවේ මෙම රෝගය පාලනය කිරීම සඳහා පවතින සේවාවන්හි ප්‍රමාණවත්භාවය පිළිබඳව මෙම ලිපිය මගින් අවධානය යොමු කෙරේ.
කෝවිඩ් -19 පැතිරුනොත්, වරද කාගේද ?
ඉතාලියේ සිට පැමිණි විදේශ ශ්‍රමිකයන් නිරෝධායනය වන අවස්ථාවේ පසුවන ශ්‍රී ලංකාව, කෝවිඩ් -19 වෛරසයෙහි නව පරිච්ඡේදයක් සඳහා පරිවර්තනය වෙමින් පවතින බවට සලකුණු පහළ වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශ හරහාත්, සමාජ ජාලා හා අනෙකුත් මාධ්‍ය හරහාත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ වරදින් එම රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවට හැඟවෙන ක්රියාකාරීත්වයක් මේ දිනවල අපට නිරීක්ෂණය කළ හැකිව තිබේ.
දැනට මෙරට කෝවිඩ් -19 රෝගීන් 18 දෙනෙකු වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර ඇති අතර, ඉන් අතිමහත් බහුතරය ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් වේ. ඒ අනුව රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය ඉතා වැදගත් වේ. එබැවින් ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය.
රෝග ලක්ෂණ නොමැති, බෝවන සමය
කෝවිඩ් -19 වෛරසය අාසාදනය වී දින 14ක කාලයක් යනතුරු සාධනීය රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමේ ඉඩකඩක් පවතින අතර, නවතම පර්යේෂණ දත්තවලට අනුව එය දින 20 හෝ ඊට වැඩි ප්‍රමාණයක් වීමටද හැකි බව සඳහන් වේ. නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ් -19 වෛරසය ශරීරය තුළ ගුණනය වෙමින් තිබෙන බීජෞෂණ (Incubation) කාලය තුළදී රෝගය බෝවීම හා ප්‍රචාරණය වීම සිදුවේ.
කෙසේ නමුත් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය තුළ නිරෝධායනය වන පුද්ගලයන්ගේ සහ වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කිරීම සිදුවනුයේ පැහැදිලි රෝග ලක්ෂණ මතුවීමෙන් අනතුරුවය. නිරෝධායන කාර්යට සහ අනෙකුත් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව නිසි පරිදි භාවිත කිරීමට නොහැකි වීම හෝ නොකිරීම මීට අදාළ ප්‍රධාන හේතුවක් වන බැවින් ඒ පිළිබඳව රජයේ හා සෞඛ්‍ය අංශවල අවධානය වඩා විධිමත් ලෙස යොමුවිය යුතුය.
කෝවිඩ් -19 වෛරසය පරීක්ෂණ, ඒකාධිකාරය
කෝවිඩ් -19 වෛරසය ඇති වීමත් සමගම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් නිලධාරීන් එම ආයතනය තුළ කෝවිඩ් -19 හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදුකිරීමේ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට උත්සහ දැරීම හේතුවෙන් දිවයින පුරා එම පරීක්ෂණය සිදුකිරීමට තිබූ මූලික අවස්ථාවන් අතපසු වීමකට ලක්විය. අද වනවිටද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය රසායනාගාර පද්ධතිය තුළ මෙම පරීක්ෂණය සිදුකරනුයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වන අතර, එයද සාමාන්‍ය පැය 8ක සේවා කාලයකට සීමා වී තිබේ.
නමුත් දිවයිනේ සියලු කෝවිඩ් -19 හඳුනා ගැනීමේ පරීක්ෂාවේ වගකීම එම පැය 8ක කාලය තුළ විසඳීමට එම ආයතනයට සිදුවන අතර, ඒ සඳහා ගත හැකිව තිබූ උපාය මාර්ගික තීරණ නොසලකා හැරීම හේතුවෙන් තෝරාගත් පුද්ගලයන්ගේ පරීක්ෂණ පමණක් සිදුකිරීමේ ක්‍රමවේදයක් බවට මෙය පරිවර්තනය වී තිබේ.
දැනට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක ලබාගැනීම මේ වනවිටත් විධිමත් අයුරින් සිදු නොවේ. ඒ අනුව නිරෝධායනය සඳහා හෝ අනෙකුත් අවශ්‍යතා සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව කාර්යක්ෂමව භාවිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නිවැරදි තොරතුරු හෝ උපදෙස් ලබා නොගැනීමේ පිළිවෙතක සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම නිරතව සිටින බවක් පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා බලයලත් එකම නියෝජිතයා වෛද්‍ය පර්යේෂණ ආයතනය බව අඟවමින් සිටියද රට තුළ හඳුනා ගැනෙන පළමු කෝවිඩ් -19 රෝගියා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාරයකදී හඳුනාගෙන තිබීම මගින් මෙම ක්‍රියාවලියේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. එම රෝගියා ප්‍රතිකාර ගනු ලැබූවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහි වන අතර, එම රෝහලට අයත් රොගීන්ගේ කෝවිඩ් -19 හඳුනා ගැනීමේ පරීක්ෂණ අනිවාර්යයෙන් යොමු කළ හැකි වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසවේද රසායනාගාර වෙතය. නමුත් අදාළ රෝගියාගේ නිදර්ශක එම රසායනාගාරය වෙත යොමු නොකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත වෙනත් රසායනාගාරයක් වෙත යොමු කිරීමට හේතුව සහ එම තීන්දුව ගනු ලැබූ ආකාරය පිළිබඳව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදුවී නොමැති නමුත් ඒ පිළිබඳව ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය අතර කිසියම් විසඳාගත යුතු ගැටලුවක් පවතින බව තහවුරු වේ. එසේම අදාළ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණවල ප්රතිඵලයන්ගේ නිරවද්‍යතාව පිළිබඳ වගකීම සහ ඊට අදාළ නෛතික වපසරිය පිළිබඳවද ගැටලු රැසක් මෙමගින් ඇතිවිය හැකිය.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහි, පරීක්ෂණ වගකීම
ජාතික බෝවන රෝග ආයතනය යනු කෝවිඩ් -19 පමණක් නොව ඉන් පෙර ව්‍යාප්ත වූ මෙන්ම අනාගතයේ ව්‍යාප්ත විය හැකි බෝවන රෝග සියල්ල සඳහා වගකිවයුතු ආයතනයයි. අවාසනාවකට එම ආයතනයේ රෝගීන්ගේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා වන නිදර්ශක යොමු කළ යුතු වන්නේ කිනම් රසායනාගාරයක් වෙතද යන්න පිළිබඳව වාද විවාද ඇති කරගන්නා තත්ත්වයකට පත්කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝහල තුළ එම රෝගීන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සුදුසු රසායනාගාරයක් නිර්මාණය කිරීම දිගින් දිගටම අතපසු කොට තිබේ. මින් පෙර වසංගත තත්ත්වයන් ලෙස ව්‍යාප්ත වූ %සාර්ස්^, %ඉබෝලා^ වැනි රෝග අවස්ථාවලදීද ඊට ගැළපෙන ජෛව අාරක්ෂණ තත්ත්ව සහිත රසායනාගාරයක් නිර්මාණය කිරීම සඳහා වූ විවිධ ඉල්ලීම්වලට අදාළව ප්‍රතිපාදන පවා වෙන් කර තිබියදී සෑම වසංගතයකදීම මෙන්ම කෝවිඩ් -19 වෛරසයේ දීත් මුල සිට පටන් ගැනීමට සිදු වීම බරපතළ තත්ත්වයකි.
රසායනාගාර සේවාවේ,නව්‍ය භාවිතය
මෙකී තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට භාවිත වන සාම්ප්‍රදායික වෛද්‍ය රසායානාගර ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින් නව රසායනාගාර ක්‍රමවේදයන් භාවිත කොට උපරිම වශයෙන් දින 7ක කාලයකදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමත්, රෝග ලක්ෂණ මතුවීමට පෙර අවදානම් කලාපවල සැරිසැරූ පුද්ගලයන් සෘජු වෛද්‍ය රසායනාගාර පර්යේෂණවලට ලක්කරමින්, ස්ථිරසාර ලෙස රෝගීන් වෙන් කර ගැනීමත් සඳහා ජාත්‍යන්තර වශයෙන් භාවිත වන නව්‍ය ක්‍රමවේදයන් කඩිනමින් ස්ථාපිත කිරීමත් රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.
එසේම අනුමාන සහ ගමන් ඉතිහාසය මත පමණක් පදනම් වෙමින් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් රෝගය හඳුනා ගැනීමට මෙන්ම හඳුනාගත් රෝගීන් ජීවිත තර්ජනයකින් තොරව ආරක්ෂා කර ගැනීමට දිවයින පුරා අවරණය වන පරිදි පැය 24 රසායනාගාර සේවාවක් සූදානම්ව තබන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ගොඩනැංවීම් බාධාවකින් තොරව ලබාදෙන ලෙසත් අප රජයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
රෝගීන් කළමනාකරණයට අදාළ සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ
කෝවිඩ් -19 රෝගීන් කළමනාකරණය කිරීම හා ඇතුළත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දිවයින පුරා රෝහල් 20ක් නම් කොට ඇති අතර, කෝවිඩ් -19 රෝගී තත්ත්වයන් පිළිබඳ සැකසහිත සියලු පුද්ගලයන් අදාළ රෝහල් වෙත ඇතුළත් වීම අනිවාර්යය වේ. ඉදිරි දින කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාවෙහි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බැවින් අදාළ සියලු රෝහල්හි පහසුකම් පූර්ව අධීක්ෂණය යටතේ ගොඩනැංවීම සිදු නොවන්නේ නම් එකී රෝහල්වලින් සමහරක් රෝගය බෝ කරන මධ්‍යස්ථානයක් බවටද පත්වීමේ අවදානමක් පවතී.
අදාළ රෝහල්හි සාමාන්‍ය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකරන රසායනාගාර සඳහා කෝවිඩ් -19 වැනි අතිශය බෝවනසුලු නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා යටිතල පහසුකම් මීට සති ගණනාවකට පෙර සිට ඉල්ලුම් කර තිබුණද හදිසි අවශ්‍යතාව මතුවන තුරු ඒ සඳහා ඇතැම් රෝහල් අධ්යක්ෂවරුන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතී. එසේම ඇතැම් රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් මෙම හදිසි ව්‍යසන තත්ත්වයේදී පවා තමන්ට හිතෛෂී සමාගමේ යන්ත්‍රය ලබාදෙන තුරු කල් මරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
ග්‍රහණයට ලක්වූ, සෞඛ්‍ය ලේකම් තනතුර
කෝවිඩ් -19 වෛරසය රෝගය ලෝක වසංගතයක් බවට පත්වූ ආරම්භක මොහොතේ ඒ පිළිබඳ විධිමත් යෝජනාවලි ගණනාවක් යොමු වූ අතර, එකී සියලු යෝජනා සෞඛ්‍ය ලේකම්වරියගේ ලිපි ගොනු අතර තවදුරටත් සිරවී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ ජාතික කමිටුව
කෝවිඩ් -19 රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්රමුඛව ජනාධිපතිවරයා විසින් ජාතික කමිටුවක් පත්කොට තිබේ. එලෙස කමිටුවක් පත්කිරීමේ මූලික අරමුණ මෙම ජාතික ව්‍යසනයේදී සාමූහික තීන්දු ගැනීම සඳහා ඇති ඉඩකඩ වැඩිදියුණු කිරීම විය හැකිය. කෙසේ නමුත් එම සංකල්පය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළදී ඊට පරස්පරව ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය වේ. එම කමිටුවේ ඇතැම් සාමාජිකයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන් සහ යෝජනා නොසලකා හැරීම සඳහා එම කමිටුව භාවිත කරමින් සිටින අතර, අවම වශයෙන් එමගින් ගනු ලබන තීන්දු වෛද්‍ය නොවන අනෙකුත් සේවාවන් වෙත විධිමත් පරිදි දැනුම් දීමට පවා ක්‍රමවේදයක් සැකසී නොමැත. ඒ නිසාම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ සෞඛ්‍ය සේවාවන්ට අදාළව වර්ධනය වෙමින් පවතින ගැටලු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා රජයට නිවැරදි ලෙස වාර්තා නොවන තත්ත්වයක් පවතී. ඒ අනුව හෙද නිලධාරීන්, වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි වෘත්තිකයන් හට මූලික අවශ්‍යතාවන් පවා සපයාගත නොහැකි තත්ත්වයන් ඇතැම් සෞඛ්‍ය ආයතනවලදී බරපතළ නොසලකා හැරීමකට ලක්ව තිබීම මෙම රෝගය අනාගතයේදී අනවශ්‍ය ලෙස ප්‍රචාරණය වීමටද හේතුවක් විය හැකිය.
මෙලෙස මතුවන සාමාන්‍ය ගැටලුකාරී තත්ත්වයන්ගේ සිට ඒ ඒ වෘත්තීන්ට අදාළ ප්‍රතිපත්ති ගොඩනැංවීමේ ක්‍රියාවලිය දක්වා වූ යෝජනාවලි පවා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම හෝ විවේචනය කිරීම සුදුසු නොවන බව ඇතමෙකු විශ්වාස කරන්නට පුළුවන. එසේම පසුගිය රජය සමයේ සිදුනොකළ ඇතැම් විවේචනයන් මේ මොහොතේ ඉදිරිපත් කිරීම දේශපාලනික ගැටලුවක් ලෙස ඇතමෙකු විසින් හුවා දක්වන්නටද පිළිවන.
නමුත් ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළයුතු යැයි හැඟෙන ඇතැම් කරුණු පවා එවන් තත්ත්වයකට පරිවර්තනය කරන්නට අපට සිදුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඒ සඳහා ඇති ඉඩකඩ ඇහිරී ඇති නිසාය. එසේ නොමැති නම් අහුරා දමා ඇති නිසාය. ඒ හැරුණු කොට මෙකී සියලු විවේචනයන්ගේත්, යෝජනාවන්ගේත් අවංක හරය වන්නේ මතුවී ඇති ජාතික ව්‍යසනයට මුහුණ දීම සඳහා සියලු සෞඛ්‍ය සේවාවන් මෙන්ම අසහනයට සහ අගතියට ලක්ව ඇති සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ කාර්යමණ්ඩලවල සහයෝගය පූර්ණ වශයෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමය. ඒ සඳහා ඒ ඒ සෞඛ්‍ය සේවාවන්ගේ අනන්‍යතාවට හා ස්වාධීනත්වයට ගෞරවයක් සහිත වටපිටාවක් සැකසීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.